සඳු සිකුරු ගිල ගනී
14 September 2026 · 4 min read
(Lunar Occultation of Venus)

ශ්‍රී ලාංකික අහස් නිරීක්ෂකයන්ට විශේෂ ආකාශ සංසිද්ධියක්!
2026 සැප්තැම්බර් 14 වැනිදා තාරකා විද්‍යා ලෝලී ඔබ සියලුදෙනාට සුවිශේෂ මෙන්ම අතිදුර්ලභ තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් උදා වේ. එදින චන්ද්‍රයා සිකුරු ග්‍රහයා ඉදිරියෙන් ගමන් කරමින් එය සම්පූර්ණයෙන්ම වසා දමනු ඇත. මෙය චන්ද්‍ර-සිකුරු මුවාවක් (Lunar Occultation of Venus) ලෙස හැඳින්වේ.
මෙය ග්‍රහ වස්තුවල දෘශ්‍ය කෝණය සහ විශාලත්වය පිළිබඳ අපූරු පාඩමකි. රහස නම් විශාලත්වය නොව දුරය.
පෘථිවියෙන් කිලෝමීටර් මිලියන 69ක් පමණ ඈතින් පිහිටන කිලෝමීටර් 12,000ක් පමණ විෂ්කම්භයක් ඇති සිකුරු ග්‍රහලොව කිලෝමීටර් 3,500ක් පමණ විෂ්කම්භයක් ඇති චන්ද්‍රයා විසින් අපගේ දෘෂ්ටියෙන් සම්පූර්ණයෙන්ම වසා දැමීමයි. ඒ චන්ද්‍රයා පෘථිවියෙන් කිලෝමීටර් 384,000ක් පමණ ළගින් පිහිටන බැවිනි. සිකුරු සඳට වඩා 3.5 ගුණයක් පමණ විශාල වුවද දෘශ්‍ය විශාලත්වය සැලකූ විට චන්ද්‍රයා සිකුරු ග්‍රහයාට වඩා 50 ගුණයක් විශාලය.
සාමාන්‍යයෙන් චන්ද්‍රයා සහ සිකුරු අහසේ එකිනෙකට ආසන්නව පෙනෙන අවස්ථාවක් හමුවක් (conjunction) ලෙස හැඳින්වුවත්, මෙහි දී සිදුවන්නේ ඊට වඩා වෙනස් සහ විශේෂ දෙයකි. නිවැරදි නිරීක්ෂණ කලාපයේ සිටින විට, සිකුරු ග්‍රහයා චන්ද්‍රයා පිටුපසට ගමන් කිරීමෙන් සම්පූර්ණයෙන්ම නොපෙනී යන අතර පසුව නැවත දිස්වේ.
විශේෂයෙන්ම සිකුරු, චන්ද්‍රයාගේ අඳුරු දාරය /ප්‍රදේශය (dark limb) පිටුපසට ගමන් කරන නිසා එය ක්‍රමයෙන් මැකී යනවාට වඩා, ඉතා කෙටි කාලයකදී අහසින් අතුරුදන් වන ආකාරයක් දැකගත හැකිය.

සිකුරු චන්ද්‍රයා පිටුපස සැඟවී සිටින කාලය නිරීක්ෂකයා සිටින ස්ථානය අනුව වෙනස් වේ. මෙම සැගවී සිටින කාලය සාමාන්‍යයෙන් මිනිත්තු 70ක් පමණ වන අතර, නිශ්චිත කාලය ස්ථානය අනුව වෙනස් වේ. පසුව සිකුරු චන්ද්‍රයාගේ දීප්තිමත් දාරය (bright limb) ආසන්නයෙන් නැවත දිස්වනු ඇත. මෙය මෙම සංසිද්ධියේ වඩාත් සිත්ගන්නාසුලු මොහොතයි.සාමාන්‍යයෙන් දීප්තිමත් චන්ද්‍ර පෘෂ්ඨය නිසා ඇතිවන ආලෝකය හේතුවෙන් සිකුරු නැවත දිස්වන මොහොත නිරීක්ෂණය කිරීම, එය අතුරුදන් වන මොහොතට වඩා අපහසු විය හැකිය.
2026 සැප්තැම්බර් 14 සිකුරු ආවරණයේ ගෝලීය සිදුවීම් කාල පරාසය ආසන්න වශයෙන් 09:26–13:42 UTC වන අතර, සම්පූර්ණ ආවරණය පෙනෙන්නේ මෙම කලාපය තුළ පිහිටි ස්ථානවලට පමණි.
මෙම සිදුවීම කෙතරම් දුර්ලභද?
එසේම චන්ද්‍රයා සෑම මාසයකම පෘථිවිය වටා ගමන් කළත්, මෙම සිදුවීම සුලභ නොවන්නේ චන්ද්‍රයාගේ කක්ෂ තලය සහ සිකුරුගේ සහ පෘථිවිය ඇතුළත් කක්ෂ මාර්ගය එකිනෙකට කුඩා කෝණයකින් ඇලව පවතින බැවිනි. මෙවැනි අවස්ථාවකදී වස්තු දෙක නිවැරදිව එකම දෘෂ්ටි රේඛාවකට පැමිණිය යුතු වේ.
පෘථිවියේ විවිධ ස්ථානවල සිට බලන විට චන්ද්‍රයාගේ පෙනෙන පිහිටීම සුළු වශයෙන් වෙනස් වේ. ඒ නිසා ලෝකයේ එක් ප්‍රදේශයකට සිකුරු සම්පූර්ණයෙන්ම ආවරණය වන විට, තවත් ප්‍රදේශයකට චන්ද්‍රයා සහ සිකුරු පමණක් එකිනෙකට ආසන්නව පෙනිය හැකිය.
2026 වසරේ සිකුරු සඳහා මෙවැනි චන්ද්‍ර මුවාවන් තුනක් සිදුවන අතර, සැප්තැම්බර් 14 සිදුවීම දෙවැන්න වේ. පළමුවැන්න සිදු වූයේ ජුනි 17 දිනය. තෙවැන්න නොවැම්බර් 7 දා සිදුවීමට නියමිතය. සැප්තැම්බර් 14 සිදුවීම යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ යම් කොටස් ඇතුළුව විශාල ප්‍රදේශයක ජනතාවට නැරඹිය හැකි අතර ශ්‍රී ලංකාව ද මෙම ආවරණ කලාපයට ඇතුළත් වේ. එබැවින් ශ්‍රී ලංකාවේ නිරීක්ෂකයන්ට සිකුරු චන්ද්‍රයා පිටුපස සැඟවී නැවත දිස්වන අවස්ථාව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ඇත.

පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිද?
චන්ද්‍රයා සහ සිකුරු යන වස්තු දෙකම පියවි ඇසට නිරීක්ෂණ වන බැවින් මෙම සිදුවීම පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය.
මෙය සිදුවීම ආරම්භ වන්නේ සැප්තැම්බර් 14 දින සන්ධ්‍යා කාලයේ බටහිර අහසේදීය. එනම් සවස 5.30ට පමණ සිකුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාම ආරම්භ වන අතර, ඒ වන විට සිකුරු ග්‍රහයා නිසි ආකාරව සොයා ගැනීමට ඔබට තරමක් අපහසු වන්නේ ඒ වන විටත් සූර්යයාලෝකය පවතින බැවිනි. සිකුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී ගොස් පැය 1යි විනාඩි 15 කට නොඅඩු වේලාවක් පවතින අතර, නැවතත් රාත්‍රී 6.45 ට පමණ සිකුරු ග්‍රහයා චන්ද්‍ර පෘෂ්ඨයෙන් දීප්තිමත් දාරයෙන් දර්ශනය වීම ආරම්භවේ. මෙවිට එය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
දුරේක්ෂයෙන්කෙසේ නිරීක්ෂණය වේද?
ඔබ සතුව දුරේක්ෂයක් ඇති නම් 30x වැනි අවම විශාලන බලයක් යටතේ වුවද මෙය නිරීක්ෂණය කළ හැකි අතර. එහිදී ඔබට චන්ද්‍රකලාව සහ ඒ හා සමානව සිකුරු ග්‍රහයාගේ කලාවද නිරීක්ෂණය කළ හැක. සිකුරු ග්‍රහයා –4.7 පමණ දෘශ්‍ය දීප්තියකින් යුතු වන මේ දිනවල සිකුරුගේ කලාව ඉතා හොදින් දුරේක්ෂයෙන් දිස්වනු ඇත. චන්ද්‍රයා 12%ක් පමණක් ආලෝකමත් වූ ඉතා සිහින් මෝරන සඳක් (waxing crescent) ලෙස පෙනෙනු ඇත.
මේ අනුව මව් චන්ද්‍රයා අසලින් පැන යන ළදරු චන්ද්‍රයෙක් මෙන් මෙම සංසිද්ධිය මනරම් දසුනක් ගෙන එනු ඇත.

ආරක්ෂක උපදෙස
මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවේදී සවස් කාලයේදී සිදුවන බැවින් ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතුය. සූර්යයාලෝකය පවතින බැවින් සිකුරු මුවාවේ ආරම්භක අවස්ථාව සෙවීම සඳහා දුරේක්ෂ යඅහස පුරා එහා මෙහා යොමු නොකරන්න.
මුවාව (OCCULTATION), හමුව (CONJUNCTION) සහ සංක්‍රාන්තිය (TRANSIT) යනු මොනවාද?
මෙම ආකාශ සංසිද්ධි තුන බොහෝ විට ඒකිනෙකට සමාන බැවින් බොහෝ දෙනෙක් වරදවා අර්ථ දක්වයි.
මුවාව (OCCULTATION)
මෙය එක් ආකාශ වස්තුවක් තවත් වස්තුවක් සම්පූර්ණයෙන් වසාගැනීම හදුන්වන පදයයි. මෙහිදී සිදුවන්නේ අපට වඩා ආසන්න ආකාශ වස්තුවක්, අපෙන් ඈතින් ඇති තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කර එය තාවකාලිකව අපගේ දෘෂ්ටියෙන් වසා දැමීමයි.
පෘථිවියේ සිට සිකුරුට ඇති දුර මේ අවස්ථාවේදී කිලෝමීටර් මිලියන 69ක් පමණ වන අතර, චන්ද්‍රයා අපෙන් ඈත්ව ඇත්තේ කිලෝමීටර් 384,000ක් පමණයි. අහසේදී චන්ද්‍රයාගේ දශ්‍ය ආනතිය සිකුරුගේ දශ්‍ය ආනතියට වඩා 50 ගුණයකට ආසන්නව විශාලය එබැවින් සිකුරු ග්‍රහයාට වඩා අති විශාලව පෙනෙන සඳට, අපෙන් ඉතා ඈතින් සිටින සිකුරු ග්‍රහයා සම්පූර්ණයෙන්ම වසා දැමිය හැකිය.
මීට පෙරද 2015 දෙසැම්බර් 7, 2020, 2021 සහ 2023 වසරවල චන්ද්‍රයා විසින් සිකුරු ගිල ගැනීමේ සංසිද්ධි ලෝකයේ විවිධ ප්‍රදේශවලින් නිරීක්ෂණය කර තිබේ.
හමුව (CONJUNCTION)
හමුව යනු පෘථිවියේ සිට බලන විට ආකාශ වස්තු දෙකක් අහසේ ඉතා ආසන්නව දිස්වීමයි. සමහර අවස්ථාවලදී වස්තු දෙක තනි වස්තුවක් ලෙස දර්ශනය වුවද ඒවා ඇත්ත වශයෙන්ම එකිනෙකට ආසන්න වී නොමැත. උදාහරණයක් ලෙස, 2023 මාර්තු 24 දින සඳු සහ සිකුරු අහසේ ඉතා ආසන්නව දිස් වූ අතර එම සංසිද්ධිය හදුන්වන්නේ ග්‍රහ හමුවක් ලෙසයි. එහෙත් සමහර ප්‍රදේශවල සිට නිරීක්ෂකයන්ට චන්ද්‍රයා විසින් සිකුරු සම්පූර්ණයෙන්ම වසා ගනු දක්නට ලැබුණු අතර එවිට එම ප්‍රදේශවලට දිස්ව ඇත්තේ මුවාවකි.
සංක්‍රාන්තිය (TRANSIT)
සංක්‍රාන්තිය යනු තවත් ආකාරයක ආකාශ වස්තු පෙළගැස්මකි. මෙහිදී සිදුවන්නේ විශාල වස්තුවක් ඉදිරියෙන් කුඩා වස්තුවක් ගමන් කිරීමයි. මෙවිට විශාල වස්තුවේ දීප්තිය යම් ප්‍රමාණයකින් අඩුවන බැවින් මෙම සිදුවීම බහිර් ග්‍රහලෝක (exoplanets) සොයාගැනීමට යොදා ගනී.
අවසන් වරට සිකුරු සංක්‍රමණයක් සිදුවූයේ 2004 ජූනි 8 වන දින සහ 2012 ජූනි 5 වන දිනවලදීය. එම අවස්ථාවලදී සිකුරු ග්‍රහයා සූර්ය තැටිය හරහා ගමන් කරන කුඩා කළු තිතක් ලෙස දර්ශනය විය. නැවත මෙවැනි දර්ශනයක් දැකගත හැකිවන්නේ 2117 වසරේදීය.



