වර්තක දුරේක්ෂයක්ද, පරාවර්තක දුරේක්ෂයක්ද?
3 September 2026 · 5 min read
වර්තකයක් කාච හරහා තියුණු, අඩු නඩත්තු දසුන් ලබා දෙන අතර, පරාවර්තකයක් ඔබේ අයවැයට අනුව දුර්වල ආකාශ වස්තූන්ගේ වැඩි විවරයක් සහ ගැඹුරු දසුන් ලබා දෙයි.

වර්තක දුරේක්ෂයක්ද, පරාවර්තක දුරේක්ෂයක්ද? ඔබට වඩාත් සුදුසු දුරේක්ෂය තෝරාගන්නේ කෙසේද?
වර්තක දුරේක්ෂ (Refractors) සහ පරාවර්තක දුරේක්ෂ (Reflectors) ආලෝකය එකතු කිරීම සඳහා මූලික වශයෙන් වෙනස් ක්‍රම භාවිත කරයි. වර්තක දුරේක්ෂයක ඉදිරිපස කාචයක් භාවිත කරන අතර, පරාවර්තක දුරේක්ෂයකට පැමිණෙන ආලෝකය එකතු කර නාභිගත කිරීම සඳහා වක්‍ර දර්පණයක් භාවිත කරයි. දෙවර්ගයටම රාත්‍රී අහසේ ආකර්ෂණීය දර්ශන ලබා දිය හැකි නමුත්, ඒවායේ වාසි සහ ශක්තීන් වෙනස් වේ.
ආධුනිකයෙකු සඳහා දුරේක්ෂ වර්ගය තෝරාගැනීමේදී බොහෝවිට රූපයේ තියුණු බව, විවරය (Aperture), රැගෙන යාමේ පහසුව, නඩත්තුව, මිල සහ නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන ආකාශ වස්තු අතර සමබරතාවයක් සලකා බැලීමට සිදුවේ.
වර්තක දුරේක්ෂ:

වර්තක දුරේක්ෂයක් (Refracting Telescope) එහි දෘශ්‍ය නළයේ (OTA) ඉදිරිපස පිහිටි ප්‍රධාන කාචයක් (Objective Lens) භාවිත කරයි. ආලෝකය මෙම කාචය හරහා ගමන් කර, දුරේක්ෂයේ පසුපස ඇති උපනෙත් කාචය (Eyepiece) දෙසට සෘජුව ගමන් කරයි.
මෙම සැලසුමේ විශාලතම වාසියක් වන්නේ එහි සරල බවයි. දෘශ්‍ය නළය (OTA) වසා ඇති බැවින් ඇතුළත දූවිලි එකතු වීම අඩු වන අතර, ප්‍රධාන කාචය නිවැරදි ස්ථානයෙන් ඉවත් වී යාමේ හැකියාවද සාපේක්ෂව අඩුය. කුඩා වර්තක දුරේක්ෂ සඳහා සාමාන්‍යයෙන් වැඩි නඩත්තුවක් අවශ්‍ය නොවේ. එමෙන්ම එළිමහනට රැගෙන ගිය පසු ඉක්මනින්ම නිරීක්ෂණය ආරම්භ කළ හැකි නිසා, ඒවා “ඉක්මනින් රැගෙන ගොස් භාවිත කළ හැකි” (Grab-and-Go) දුරේක්ෂ ලෙසද ඉතා සුදුසුය.
කුඩා වර්තක දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ හැකි දෑ:
- චන්ද්‍රයා සහ එහි ආවාට
- බ්‍රහස්පති සහ එහි විශාලතම චන්ද්‍රයන් හතර
- සෙනසුරු සහ එහි වළලු
- දීප්තිමත් ද්විත්ව තාරකා
- දීප්තිමත් තාරකා පොකුරු
- දිවා කාලයේ පෘථිවියේ දුරස්ථ වස්තු
කෙසේ වෙතත්, වර්තක දුරේක්ෂවලට එක් ප්‍රධාන අවාසියක් තිබේ: විශාල සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් කාච ඉතා මිල අධික වේ. විශාල, නිරවද්‍ය කාචයක් නිෂ්පාදනය කිරීම සමාන ප්‍රමාණයේ දර්පණයක් නිෂ්පාදනය කිරීමට වඩා සැලකිය යුතු ලෙස සංකීර්ණ හා අභියෝගාත්මක කාර්යයකි. එම නිසා, එකම අයවැයකට සාපේක්ෂව පරාවර්තක දුරේක්ෂ මඟින් සාමාන්‍යයෙන් වඩා විශාල විවරයක් (Aperture) ලබාගත හැකිය.
වර්ණවත් ආලෝක වට (colorful halos)
සාම්ප්‍රදායික Achromatic Refractor දුරේක්ෂවල වර්ණ විකෘතිය (Chromatic Aberration) ඇති විය හැකිය. මෙය විශේෂයෙන්ම චන්ද්‍රයා හෝ ග්‍රහලෝක වැනි ඉතා දීප්තිමත් වස්තූන් වටා දම්, නිල් හෝ රතු පැහැති වර්ණ තීරු හෝ ආලෝක වටයක් (colorful halos) ලෙස දැකිය හැකිය.
-2.png)
වඩාත් දියුණු Apochromatic, හෙවත් “Apo” වර්තක දුරේක්ෂ විශේෂිත දෘශ්‍ය සැලසුම් සහ වීදුරු වර්ග භාවිත කරමින් මෙම වර්ණ විකෘතිතාවය විශාල වශයෙන් අඩු කරයි. ඒවා ග්‍රහලෝක නිරීක්ෂණය සඳහාත් තාරකා විද්‍යාත්මක ඡායාරූපකරණය (Astrophotography) සඳහාත් භාවිතා කළ හැකිය. කෙසේ වෙතත්, ඒවායේ මිල සාමාන්‍ය Achromatic Refractor දුරේක්ෂවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ විය හැකිය.
උදාහරණයක් ලෙස, KTA 60050U යනු මිලිමීටර් 50ක විවරයක් සහ මිලිමීටර් 600ක නාභීය දුරක් (Focal Length) සහිත සංයුක්ත වර්තක දුරේක්ෂයකි. එහි f/12 නාභීය අනුපාතය (Focal Ratio) සහ සරල Alt-Azimuth සවිකිරීම් සැලසුම නිසා, එය ඉතා ගැඹුරු අහස් වස්තු (Deep-Sky) නිරීක්ෂණයට වඩා මූලික සහ පහසුවෙන් රැගෙන යා හැකි නිරීක්ෂණ සඳහා වඩාත් සුදුසු වේ.
පරාවර්තක දුරේක්ෂ :

පරාවර්තක දුරේක්ෂ වෙනස් ආකාරයක ප්‍රවේශයක් භාවිත කරයි. විශාල ප්‍රධාන කාචයක් හරහා ආලෝකය ගමන් කරවීම වෙනුවට, ආලෝකය එකතු කර නාභිගත කිරීම සඳහා වක්‍ර අවතල ප්‍රධාන දර්පණයක් (Primary Concave Mirror) භාවිත කරයි.
ආධුනිකයන් අතර වඩාත්ම ජනප්‍රිය පරාවර්තක දුරේක්ෂ වර්ගය වන්නේ නිව්ටෝනියානු පරාවර්තක දුරේක්ෂය (Newtonian Reflector) ය. මෙය අයිසැක් නිව්ටන් විසින් නිර්මාණය කළ පරාවර්තක දුරේක්ෂ සැලසුම මත පදනම් වී ඇත. වක්‍ර ප්‍රධාන දර්පණය දුරේක්ෂ නළයේ පිටුපස කොටසට ආසන්නව පිහිටන අතර, කුඩා ද්විතීයික දර්පණයක් (Secondary Mirror) මඟින් නාභිගත වූ ආලෝකය ඉදිරිපසට ආසන්නව පිහිටි උපනෙත් කාචය (Eyepiece) දෙසට හරවා යවයි.
-1.jpg)
මෙහි ඇති ප්‍රධාන වාසිය වන්නේ දුරේක්ෂයේ විවරය (Aperture) යි.
විශාල විවරයක් මඟින් වැඩි ආලෝක ප්‍රමාණයක් එකතු කරගත හැකි බැවින්, වඩාත් මඳ ආලෝකයක් සහිත ආකාශ වස්තු දැකීමටත්, සුදුසු නිරීක්ෂණ තත්ත්වයන් යටතේ වඩාත් සියුම් විස්තර හඳුනාගැනීමටත් හැකියාව ලැබේ. මන්දාකිණි, නිහාරිකා සහ ගෝලාකාර තාරකා පොකුරු වැනි ගැඹුරු අහස් වස්තු නිරීක්ෂණයේ දී මෙය විශේෂයෙන් වැදගත් වේ.
විශාල ප්‍රමාණවලින් දර්පණ නිෂ්පාදනය කිරීම කාච නිෂ්පාදනය කිරීමට වඩා සාමාන්‍යයෙන් අඩු වියදමක් වන බැවින්, පරාවර්තක දුරේක්ෂ මඟින් ඔබේ මුදලට සැලකිය යුතු ලෙස වැඩි විවරයක් ලබාගත හැකිය.
විවරය මෙතරම් වැදගත් වන්නේ ඇයි?
මිලිමීටර් 50ක කුඩා දුරේක්ෂයක් සහ මිලිමීටර් 114ක දුරේක්ෂයක් සංසන්දනය කරන බව සිතන්න.
මිලිමීටර් 114ක දුරේක්ෂයේ විෂ්කම්භය මිලිමීටර් 50ක දුරේක්ෂයට වඩා දෙගුණයකටත් වැඩිය. මිලිමීටර් 114ක විවරයකට මිලිමීටර් 50ක විවරයකට වඩා ආසන්න වශයෙන් 5.2 ගුණයක ආලෝක එකතු කිරීමේ ප්‍රදේශයක් ඇත.
මෙම වෙනස මඳ ආලෝකයක් සහිත ගැඹුරු අහස් වස්තු නිරීක්ෂණය කිරීමේදී විශේෂයෙන් වැදගත් වේ.
විශාල පරාවර්තක දුරේක්ෂයකින් කුඩා වර්තක දුරේක්ෂයකින් ඉතා දුර්වලව පෙනෙන හෝ කිසිසේත් නොපෙනෙන වස්තු හඳුනාගත හැක්කේ මේ නිසාය.
ප්‍රායෝගික උදාහරණයක්: මිලිමීටර් 114ක පරාවර්තක දුරේක්ෂයක්
Celestron StarSense Explorer LT 114AZ ආධුනික පරාවර්තක දුරේක්ෂයක විවරයේ වාසිය පෙන්වන උදාහරණයකි. එය මිලිමීටර් 114ක දර්පණ පද්ධතියක්, මිලිමීටර් 1000ක නාභීය දුරක් සහ f/9 නාභීය අනුපාතයක් (Focal Ratio) භාවිත කරයි.
මිලිමීටර් 50ක වර්තක දුරේක්ෂයක් සමඟ සංසන්දනය කළ විට, එහි සැලකිය යුතු විශාල විවරය ආලෝකය එකතු කිරීමේදී විශාල න්‍යායාත්මක වාසියක් ලබා දෙයි.
වර්තක දුරේක්ෂ සහ පරාවර්තක දුරේක්ෂ: ග්‍රහලෝක සඳහා වඩා හොඳ කුමක්ද?
වර්තක දුරේක්ෂ විශේෂයෙන් කුඩා විවරයන්හිදී ඉහළ ප්‍රතිවිරුද්ධතාවයකින් (High Contrast) සහ තියුණු රූප ලබාදීම සඳහා ප්‍රසිද්ධය. ඒවායේ අවහිර නොවූ දෘශ්‍ය මාර්ගය නිසා චන්ද්‍රයා, බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දීප්තිමත් වස්තූන් ඉතා පැහැදිලිව නිරීක්ෂණය හැකිය.
නමුත් සැලකිය යුතු ලෙස විශාල විවරයක් සහිත පරාවර්තක දුරේක්ෂයකින්ද පැහැදිළිව ග්‍රහලෝක නිරීක්ෂණය හැකිය.
ආධුනිකයන් සඳහා පරාවර්තක දුරේක්ෂයක ඇති ප්‍රධාන අවාසිය වන්නේ නඩත්තු කිරීමට ඇති අපහසු තාවයයි.
ප්‍රධාන සහ ද්විතීයික දර්පණ නිවැරදිව එකිනෙකට සන්ධානගතව (Aligned) තිබිය යුතු බැවින්, පරාවර්තක දුරේක්ෂවලට වරින් වර Collimation අවශ්‍ය විය හැකිය. දුරේක්ෂය නිතර එහා මෙහා රැගෙන යාමෙන් මෙය වඩාත් නිතර අවශ්‍ය විය හැකිය. (Collimation කිරීම යනු පුහුණුව සමඟ පහසු වන සාමාන්‍ය කුසලතාවකි.)
පරාවර්තක දුරේක්ෂවල දෘශ්‍ය නළය (OTA) විවෘතව ඇති බැවින් කාලයත් සමඟ ඇතුළත දූවිලි එකතු විය හැකිය. දිගු කාලයක් භාවිත කිරීමෙන් පසු දර්පණ පිරිසිදු කිරීමට අවශ්‍ය විය හැකි අතර, දර්පණ වල දෘශ්‍ය පරාවර්තක පෘෂ්ඨ ඉතා සංවේදී බැවින් අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීමෙන් වැළකිය යුතුය.
වර්තක දුරේක්ෂ
- ඉක්මන් සැකසුම සහ නිරීක්ෂණය පහසු වීම.
- අවම නඩත්තුව.
- චන්ද්‍රයා සහ ග්‍රහලෝකවල තියුණු දර්ශන ලබා ගත හැකි වීම.
- දීප්තිමත් ද්විත්ව තාරකා සහ තාරකා පොකුරු නිරීක්ෂණය කළ හැකි වීම.
- තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ වලට අමතරව පෘථිවියේ දුරස්ථ වස්තු නිරීක්ෂණය කළ හැකි වීම.
පරාවර්තක දුරේක්ෂය
- මඳ ආලෝකයක් සහිත ගැඹුරු අහස් වස්තු නිරීක්ෂණයට ඇති වැඩි හැකියාව.
- මන්දාකිණි, නිහාරිකා සහ ගෝලාකාර තාරකා පොකුරු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වීම.
- වර්තක දුරේක්ෂයකට ගෙවන මිලට වඩා අඩු වියදමකින් විශාල විවරයක් ලබාගැනීම.
- දෘශ්‍ය තාරකා නිරීක්ෂණය සඳහා Dobsonian ආකාරයේ සැකසුමකින්ද මිලදී ගත හැකි වීම.






